Sunday, July 10, 2016

දළදා වහන්සේට රන්සිවි ගෙය බදින්න පූරුවේ පිනෙන් ලද රාජකාරිය

දළදා වහන්සේට රන්සිවි ගෙය බදින්න
පූරුවේ පිනෙන් ලද රාජකාරිය

සිරි දළදා පෙරහැර යනු හෙළයේ උත්තරීතර හා අසිරිමත් ම මංගල්‍යයයි. සිරිලක බොදුනුවන්ගේ මුදුන්මල්කඩ වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට පූජොAපහාර පිණිස වාර්ෂිකව පැවැත්වෙන දැවැන්ත මෙන්ම ශෝභමාන පෙරහැර ද මෙයයි. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ අලි ඇතුන්, නැට්‌ටුක්‌කරුවන් බෙර දවුල් වයන්නන් කසකරුවන් ඇතුළු කලාකරුවන්, තේවාකරුවන් සිය ගණනකගේ සහභාගිත්වය ඇතිව දින දහයක්‌ පුරා අඛණ්‌ඩව පැවැත්වෙන මෙම මහා පෙරහැර දෙස්‌ විදෙස්‌ සැමගේ භක්‌ත්‍යාදරය මෙන්ම චින්තානන්දය උපදවාලයි.
දළදා පෙරහැර ගැන ඇසෙත්දීම අප සැමට මතක්‌ වනුයේ පෙරහැරට සාඩම්බරයක්‌ ආලෝකයක්‌ වන මහා ඇත් පංතියයි. පෙරහැරක වැඩිම ඇත් පංතියක්‌ ගමන් කරනුයේ ද දළදා පෙරහැරේය.
මෙම ඇත් පංතියෙහිද සුවිශේෂී ඇත් රජා වනුයේ ශ්‍රී සධාතුක දළදා කරඬුව වඩමවන මහා ඇත් රාජාය. දැවැන්ත මෙන්ම ප්‍රෙෘඪත්වයක්‌ හිමි මේ ඇත් රජු ද මහා සසර වාසනාවන්තයකු බව අමුතුවෙන් කිවයුතු නොවේ.
මෙකී වාසනා ගුණ සපිරි ඇත් රජු පෙරහැර සඳහා සූදානම් කිරීම රන්සිවිගෙය ඇත් රජුගේ පිට මත තබා බැඳීම එතුළ සධාතුක කරඬුව තැන්පත් කිරීම ආදී දළදා තේවාව, රාජකාරිය බාර ප්‍රධානියා ද එවැනිම පිනැත්තෙකි.

ඔහු ඇහැලමල්පේ මුදියන්සේලාගේ ජයතිස්‌ස බණ්‌ඩාර ඇහැලමල්පේයි. ඇහැලමල්පේ පරපුරට රාජ රාජමහාමාත්‍ය සමයේ සිටම මේ දළදා වහන්සේ පිළිබඳ රාජකාරිය, තේවාව අඛණ්‌ඩව පැවරී ඇත්තේ "ගුරුදෙනිය විදානරාල පරපුර" යටතේය.
මහනුවර, ගුරුදෙනියේ විදානරාල පරපුරේ වත්මන් උරුමක්‌කාරයා වූ ජයතිස්‌ස බණ්‌ඩාර ඇහැලමල්පේට අද දවසේ මෙම අති උතුම් බුද්ධ කාරිය, නැතිනම් දළදා වහන්සේ වෙනුවෙන් අති උතුම් සේවාව, තේමාව රාජකාරිය පැවරී ඇත. ඔහු එම තේවාව ඉටුකරනායුරු මෙසේ පැවසුවේය.
රටේ වෙනත් මොනම කාරියක්‌වත් නෑ මේ වගේ වගකීම් සහිත කාරියක්‌. ඒ වගකීම මා පෙර කළ පුණ්‍යකර්මවල මහිමයෙන් ලැබුණු මහඟු වාසනාවක්‌ කොට සලකනවා. මම මගේ පියාණන්ගේ ඇවෑමෙන් මෙම තනතුරට පත් වුණා. දැනට වසර හතළිස්‌දෙකක්‌ මා මෙම රාජකාරිය ඉටුකරනවා. මට තිබෙන රාජකාරිය තමයි උතුම් දළදා වහන්සේ වඩමවන ඇත් රාජා පෙරහැරට පෙර සූදානම් කරවීම, රන්සිවි ගෙය බැඳීම, ශ්‍රී සධාතුක කරඬුව තැන්පත් කිරීමට උපකාරී වීම දළදා පෙරහැරේ වීථි සංචාරය වගේ දේවල්.
ඉස්‌සර මාලිගාවේ රාජා ඇතා සූදානම් කරවුවත් ඒ ඇතා මියගිය පසු තවත් සුදුසු ඇතුන් පස්‌දෙනකු ශ්‍රී ධාතු කරඬුව වැඩමකරවීමට අප සූදානම් කොට තිබෙනවා. ඒ දළදා මාලිගාවේ සිංහරාජා, ඉන්දිරාජා, නැදුන්ගමුවේ රාජා, තායි ඇතා, හා ඒක දන්තයා (එක දළයක්‌ ඇති.) යන ඇත්තුයි.
මේ සත්තු ශරීර ලක්‍ෂණවලින් වගේම ශ්‍රී සධාතුක දළදා කරඬුව වැඩම කරවීමට සසරින්ම වාසනාව උරුම කරගත් ඇතුන්. ඔවුන් හරි ගාම්භීරයි. ප්‍රෙෘඪයි. ඉවසිලිවන්තයි. බුද්ධියෙන් ඉහළයි.
පෙරහැර පැවැත්වෙන දින වකවානු තීරණය වූ පසුව මල්වතු, අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක ස්‌වාමින් වහන්සේලා, දියවඩන නිලමේතුමා, දළදා පෙරහැර කමිටුව රැස්‌වෙලා සාකච්ඡා කරනවා. රාජකාරි පවරනවා. පරම්පරා රාජකාරි ඉටුකිරීමට දැනුම් දෙනවා.
මගේ කාර්ය මණ්‌ඩලය හයදෙනයි. ඔවුන් සමඟ මම හොඳින් පේවී පෙරහැර පවත්වන දින සවස පැමිණ එදාට සිටින ඇත් රාජා, ඇත් ගොව්වා, සමඟම බාරගන්නවා. මුලින්ම ඇතා "ඇතා සරසන මණ්‌ඩපය"ට ඇතුළු කර ගන්නවා. මේ වන විට දළදා මාලිගාවේ හේවිසි තූර්ය නාද, බෙර දවුල්, තම්මැට්‌ටම් වයනවා. සියලු පුද පූජා පවත්වනවා. ඇතාගේ ඇඳුම් මුලින්ම අන්දවන්නේත් නැකතට අනුවයි. මේවා නොගැළවෙන සේ හොඳින් බන්දවනවා.
අනතුරුව රන්සිවිගෙය සය දෙනෙක්‌ උසුලාගෙන එනවා. රිදියෙන් හා රනින් ඉපැරැණි කැටයම් යොදා තැනූ රන්සිවි ගෙයි බර පමණක්‌ කිලෝ දෙසීයක්‌ විතර වෙනවා. මෙය සීරුවෙන් ඇතු පිට උඩ තබා හොඳින් හම් පටි, සේද නූල් හා විශේෂිත රැහැන් යොදා ඇතු බඳ වටා බඳිනවා. ඊටත් අමතරව ඇතුගේ පිට උඩ ලොකු බැටරි හතරකුත් තබා බඳිනවා. (කිලෝ තුන්සීයක්‌ විතර බරක්‌ පැටවෙනවා.)ඒ විදුලි ආලෝකය ලබා ගැනීම පිණිසයි. මේ සියලු දේ කිරීමට පැයක දෙකක කාලය ගත වනවා. මේ සියලු දේ කරද්දීත් බඩ යටින් අප ගමන් කරන විට බඩ බඳිද්දී බර පටවද්දී ඇතා කිසිම හෙල්ලිල්ලක්‌ පෙරැලීමක්‌ දැඟලීමක්‌ කරදර කිරීමක්‌ අඩුම තරමේ ගෙරවීමක්‌ වත් නැතිව ඉන්නවා. ඔවුන්ට හරියට තේරෙනවා වගෙයි එයාගේ වගකීම. අපට හරි ලේසියි. එයාලා එළියේදී දඟ කළත් මේ රාජකාරියට පැමිණි පසු හරියට ඉන්නේ පූස්‌ පැටව් වගේ කීකරු වෙලා.
ඉන්පසු මහා නායක හාමුදුරුවෝ දියවඩන නිලමේ පිරිවර සමඟ උඩු මහලින් සධාතුක දළදා කරඬුව වඩමවනවා. එසේ කරන්නේ මුර අතු සේසත් උඩු වියන්, පාවාඩ පංචතූර්ය නාද කවිකාර මඩුවේ කවි ගායනා ආදී මහා පූජා රැසක්‌ එක්‌කයි. ඉන්පසු නැකත අනුව දිශාව අනුව ඒ කරඬුව රන්සිවි ගෙයි තැන්පත් කරනවා. නැකත් හදන්නේ නැකත් මොහොට්‌ටාලයි. දළදා පෙරහැර පිටත් වන්නේ ඒ ඒ දිනයේ ඇති ශුභ මුහුර්ත අනුව හා දිශා අනුවයි.
දළදා කරඬුව වැඩමකරද්දී මාත් ඇත් රජු අසලින්ම යනවා. ඒ රැහැන් බුරුල් වෙයිද, වෙනත් ගැටලුවක්‌ පැනනඟීද කියා පරීක්‍ෂා කිරීමටයි.
ඉතින් පෙරහැර පැවැත්වෙන කුඹල්, රන්දොaලි පෙරහැරවලත් දවල් පෙරහැරෙත්, දිය කපන පෙරහැරෙත් මම දින දොළහක්‌ ඇතා සමඟම ගමන් කරනවා. ඇත්ගොව්වෝ රැකවලට සිටිනවා.
කරඬුව වඩමවන ඇතාට නියෝග දෙන්නට අවශ්‍යම නැහැ. එයා අවශ්‍ය තැනදි අවශ්‍ය වෙලාවෙදි නතර වෙනවා. ආපසු ගමනේ යෙදෙනවා. මේ ඇතුන්ට තමන්ගේ වගකීම් හරියටම අවබෝධ වී තිබෙන්නේ සංසාරයේ පුරුද්දට වගෙයි. පුදුමාකාර ඉවසීමකින්, භක්‌තියකින්, සංයමයකින් මහා ප්‍රෙෘඪකමකින් ඔවුන් හැසිරෙන්නේ. කලබල නැහැ.
වරක්‌ මගේ පියා සිටින කාලෙක රාජා ඇතාගේ වර පටක්‌ බුරුල් වෙලා ඇතා නතර වෙලා. පසුව බැලින්නම් රැහැන බුරුල් වූ බව දැනගෙන යළි සකස්‌ කරලා. ඒ තරමටම ඔවුන් බුද්ධිමත්. ඔවුන්ගේ ගරුත්වය ඒ තරමටම ඉහළයි.
අපි හැම පෙරහැර රැයකම පැය 3 - 4 ක්‌ සැතපුම් කීපය දිනපතා ඇවිද ගියත් අපට කිසිම මහන්සියක්‌ පීඩාවක්‌ නෑ. සතුන්ටත් එහෙමයි. අපටත් එහෙමයි. ඒ වගේමයි මහ වැස්‌සට තෙමුණත් අඩුම තරමේ හෙම්බිරිස්‌සාවක්‌ වත් හැදෙන්නේ නෑ. ඒක තමයි ආශ්චර්ය.
දළදා පෙරහැර සෑම අවුරුද්කම මෙතෙක්‌ පවත්වා තිබෙනවා. ඡේ. වී. පී. අය කලබල කළ කාලයේත් එල්. ටී. ටී. ඊ. කට්‌ටිය බෝම්බ පුපුරවන කාලේත් දැඩි ආරක්‍ෂා රැකවල් යොදා හෝ පෙරහැර පැවැත් වූවා.
මෙම පෙරහැර රජ කාලයේ සිට සම්ප්‍රදායානුකූලව, ඉතාම ඉහළින් අද දක්‌වාත් පවත්වනවා. අපේ ගුරුදෙනියේ විදානේරාල පරම්පරාවට පැවරුණු ඒ උතුම් කාරිය අප එදා සිට අද දක්‌වාම පණ පුදා ඉටුකරනවා. සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් අපට කළ හැකි මේ කාරිය, තේවාව අප ඉටුකරන්නේ මහත් ආසාවෙන්. මාලිගාවෙනුත් අපට පැවරුණු වගකීම් රැසක්‌ තිබෙනවා. ඒවාත් ඉටුකරන්නේ පුදුමාකාර භක්‌තියකින්මයි. දළදා මැඳුරේ සුපුරුදු තූර්ය, දවුල් නද මධ්‍යයේ මා ඔහුගෙන් ඉවත් වූයේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට හිස තුන් වරක්‌ ඔබා වැඳ නමස්‌කාර කරමිනි.
ටෙරන්ස්‌ වනිගසිංහ

No comments:

Post a Comment